Monday, March 25, 2013

ඩිජිටල් කැමරා වලට UltraPixel තාක්ෂණය


ඩිජිටල් කැමරා මෙගා-පික්සල් යුද්ධය අලුත් අතකට - හඳුනාගන්න UltraPixel තාක්ෂණය




නිකොන්, කැනන්, සෝනි, සැම්සුන්ග් කැමරා නිශ්පාදකයින් සිය කැමරාවල ගුණාත්මක භාවය පිලිබඳව ලොවට කියාපාන්නට භාවිතාකරන ලද්දේ කැමරාවේ ආලෝක සංවේදකයේ මෙගාපික්සල් ප්‍රමාණයයි. මෙගාපික්සල් ප්‍රමාණය වැඩිවන විට කැමරාවේ ගුණාත්මක භාවය වැඩිවන බවට වැරදිමතයක් හිතාමතාම ජනිතකල කැමරා නිශ්පාදකයින් සෑම සයමසකටම වරක් එකිනෙකාට වඩා ඉහල මෙගාපික්සල් ප්‍රමාණයක් ඇති පොකට් කැමරා එලිදක්වන්නට වූ අතර ඡායාරූපකරණ තාක්ශණ විචාරකයින් මෙය කැමරා නිශ්පාදකයින්ගේ මහා මෙගාපික්සක්සල් යුද්ධය (The Great Megapixel War) ලෙස හඳුන්වන ලදී. වැඩිකල් නොගොස් ජංගම දුරකථන නිශ්පාදකයින්ද මෙම මෙගා පික්සල් යුද්ධයට අවතීර්ණවූ අතර මොවුන් අතරින් ඇපල් හා සැම්සුන්ග් අතර යුද්ධය දැන් දැන් අලෙවිකරණ යුද්ධයකට වඩා ඈතකට ගොස් ඇතිබව පෙනේ.

සැම්සුන්ග්-ඇපල් ස්මාර්ට්ෆෝන් සටන හා නිකොන්-කැනන්-සෝනි කැමරා සටන අතරට කලකට පෙර අතිශය ජනප්‍රිය Wildfire වැනි ජංගම දුරකථන නිපදවා ජනාදරයට පත්ව මෑතකදී සැම්සුන්ග් ගැලැක්සි මාදිලියේ දුරකථන කාණ්ඩය නිසා නොනගතයට තල්ලුවී සිටි HTC සමාගම, අල්ට්‍රා-පික්සල් නම් අලුත් තාක්ශණයකින් සන්නද්ධව සටනට බැස සිටී.

HTC One with UltraPixel digital camera


හෙට-අනිද්දාම එලිදක්වන්නට නියමිත HTC One ස්මාර්ට්ෆෝනයට ඇතුලත්ව අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිමැවුනු පලමු ඩිජිටල් කැමරාව එලිදැක්වෙනවා. මෙය සැම්සුන්ග් ගැලැක්සි S4 ෆෝනයට ඉතා හොඳ තරඟයක් දෙනු ඇතැයි විචාරකයින් පවසනවා.

අල්ට්‍රා-පික්සල් තාක්ශණය යනු කැමරාවක ආලෝක සෙන්සරය මත අලෝක සංවේදී පික්සල් ඇතිරීමේ අලුත් ක්‍රමවේදයකි. සාමාන්‍ය මෙගාපික්සල් තාක්ශණයේ කැමරාවල ආලෝක සෙන්සරය මත වැඩිපුර මෙගා-පික්සල් ප්‍රමාණයක් අතුරවන්නේ එම පික්සල් වල ප්‍රමාණය කුඩා කීරීමෙනි. එවිට සෙන්සරයේ ප්‍රමාණය විශාල නොකොට වැඩි පික්සල් ප්‍රමාණයක් සෙන්සරයේ පෘශ්ඨය මත ඇතිරීමට හැකිවනවා.

අල්ට්‍රාපික්සල් තාක්ශණයේ සෙන්සර් ප්‍රමාණයෙන් විශාල වන අතර එය මත අතුරා ඇති පික්සල වල විශාලත්වයද වැඩි බැවින් වැඩි ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කොටගෙන වඩා පැහැදිලි ඡායාරූප ලබාදිය හැකිවනවා.
අල්ට්‍රා-පික්සල් තාක්ශණය ක්‍රියාත්මක වන්නේ මීට සපුරා විරුද්ධ ආකාරයටයි. මෙහිදී සෙන්සරයේ ප්‍රමාණය විශාල වන අතර ඒ මත ප්‍රමාණයෙන් විශාල පික්සල් අඩු ප්‍රමාණයක් ඇතුරනවා. උදාහරණයක් ලෙස HTC One ස්මාර්ට්ෆෝනයේ කැමරාවේ විබේධනය මෙගාපික්සල් වලින් ප්‍රකාශකල හොත් එය මෙගාපික්සල් 4ක පමණ කැමරාවක්. එහෙත් මෙම කැමරාවේ පික්සල් අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිර්මාණය කල ප්‍රමාණයෙන් විශාල පික්සල් වන බැවින් එම පික්සලයකට වැඩි ආලෝක ප්‍රමාණයක් (එනම් ෆෝටෝන ප්‍රමාණයක්) ග්‍රහණය කරගැනීමේ හැකියාව තිබෙන නිසා, කැමරාවෙන් ලැබෙන සාඵල්‍ය විබේධනය (true resolution) මෙගාපික්සල් අටක කැමරාවකට සමාන වන බව පැවසෙනවා.

සාමාන්‍ය සෙන්සරයක පික්සලයක ප්‍රමාණය මයික්‍රෝමීටර් 1.4ක් වන අතර අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිමැවුනු පික්සලයක ප්‍රමාණය මයික්‍රෝමීටර් 2ක් වනවා. ඒ අනුව අල්ට්‍රා-පික්ස්ලයක ආලෝකය ග්‍රහණය කරගත හැකි ප්‍රදේශය සාමාන්‍ය පික්සලයක මෙන් දෙගුණයක ප්‍රමාණයක් වනවා.
UltraPixel තාක්ශණය මෙගාපික්සල් තරඟය මෙන්ම පාරිභෝගිකයින් රවටන තවත් අලෙවිකරණ මායාවක්?


න්‍යායාත්මකව, අල්ට්‍රාපික්සල් තාක්ශණයේ වාස ඉහත ආකාරයට විස්තර කල හැකිවුනත්, සමහර තාක්ශණ විචාරකයින්ට අනුව මෙයත් පාරිභෝගිකයින්ව රවටන්නට නිර්මාණය කෙරුනු අලෙවිකරණ විජ්ජාවක්. අලුත් නමක් පටබැන්දත් මෙය නව තාක්ශණයක් නොව, තාක්ශණය ආපස්සට ගෙන ගොස් පරණ තාක්ශණයක් අලුත් ලේබලයක් යටතේ ඉදිරිපත් කිරීමක් බවත් ඔවුන් පවසනව. මෙම චෝදනාවේ යම් සත්‍යතාවයක් තිබෙන බව පමණක් දැනට පැවසිය හැකි අතර, අල්ට්‍රාපික්සල් තාක්ශණයේ සැබෑ හැකියාවන් HTC One ෆෝනයේ අල්ට්‍රාපික්ස්ල් කැමරාවෙන් ගන්නා ඡායාරූප අන්තර්ජාලයට එකතුවූ පසු දැන ගත හැකියි.
Read More

අවකාශයේ ත්‍රිමාණ නිර්මාණ සිදුකල හැකි 3Doodler


අවකාශයේ ත්‍රිමාණ නිර්මාණ සිදුකල හැකි 3Doodler


3ඩූඩ්ලර් යනු ත්‍රිමාණ මුද්‍රණයේ, එනම් ත්‍රිමාණ වස්තූන් අවකාශයේ නිර්මාණය කල හැකි මුද්‍රණ යන්ත්‍රවල විප්ලවීය වෙනසක් සිදුකල හැකි නිර්මාණයකි. පෑනක් මෙන් පෙනෙන හා ක්‍රියාකල හැකි ආකාරයට නිර්මාණය කොට ඇති මෙම ත්‍රිමාණ නිර්මාණ පෑන අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් දෙදෙනාගේ නිර්මාණයකි.

නිර්මාණ ශිල්පීන් හට කොළයක් ගෙන පැන්සලක නිර්මාණයක් කරනවාක් මෙන් පහසුවෙන් ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා නිපදවා ඇති 3ඩූඩ්ලර් ත්‍රිමාණ මුද්‍රණ පෑනෙන් අවකාශයේ නිර්මාණ සිදුකල හැකිව තිබෙන්නේ ඉතා විශේෂිත ප්ලාස්ටික් වර්ගයක් එම පෑනේ තුඩින් ඉතා ක්‍රමාණුකූලව වැගිරෙන්නට සැලැස්වීමෙනි. පෑන් තුඩෙන් පිටවන විට ද්‍රව තත්වයේ පසුවන මෙම ප්ලාස්ටික් වර්ගය තුඩින් පිටවුනු වහාම ක්ශණිකව ඝනීභවනය වේ. ඒ අනුව අවකාශයේ නිර්මාණය සෑදෙයි.

මෙම ත්‍රිමාණ පෑනට දමන ප්ලාස්ටික් වර්ගය හැඳින්වෙන්නේ "ඇක්‍රිලෝනයිට්‍රයිල් බියුටඩීන් ස්ටයිරීන්" හෙවත් "ABS" ලෙසිනි. විශ්කම්භය මිලිමීටර් 3ක් වන ප්ලාස්ටික් කම්බි ලෙස එන මෙම ප්ලාස්ටික් වර්ගය විවිධ වර්ණ වලින් සැපයිමට 3ඩූඩ්ලර් නිර්මාණ සමාගම සැළසුම් කරයි.

3ඩූඩ්ලර් ත්‍රිමාණ පෑනට යොදන ABS ප්ලාස්ටික් කම්බි
තවමත් සංවර්ධනය කෙරෙමින් පවතින 3ඩූඩ්ලර් පෑනේ වැඩිදියුණු කිරීම් වල පර්යේශණ හා නිශ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගන්නා ආකාරයද 3ඩූඩ්ලර් පෑන මෙන්ම අපූර්ව ක්‍රමයකි. Crowd Funding ලෙස හැඳින්වෙන මෙම ප්‍රාග්ධන සෙවුම් ක්‍රමයේදී ප්‍රාග්ධනය අවශ්‍ය සමාගම ඒවා ලබාගන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ ආයෝජනයන් සිදුකරන සාමාන්‍ය මහජනතාවගෙනි.

දැනට අමෙරිකාවේ ප්‍රචලිත වෙමින් යන මෙම ප්‍රාග්ධන උපැයුම් ක්‍රමයේදී ඩොලර් 1ක් වැනි සුලු මුදලක් පවා ආයෝජනය කිරීමට ආයෝජකයින්ට පුලුවන. එක් අයෙකුගෙන් ලැබෙන මුදල සුලුවුවත් ආයෝජකයින් අතිවිශාල සංඛයාවකගෙන් මුදල් එකතු කරගන්නා නිසා සමාගමට සෑහෙන ප්‍රාග්ධනයක් එක් රැස් කරගැනීමට හැකියාව ලැබේ.

3ඩූඩ්ලර් පෑන වැඩිදියුණු කිරීම සඳහා නිර්මාපකයින් වොබල්වර්ක්ස් (WobbleWorks) නම් සමාගමක් ලියාපදිංචි කොට ඇති අතර මෙම සමාගම කික්ස්ටාටර් (Kickstarter) නම් සමාගමක් හරහා සිය ප්‍රාග්ධන ඉල්ලුම සිදුකොට ඇත. කික්ස්ටාටර් සමාගම 3ඩූඩ්ලර් වෙනුවෙන් වෙන් කොට ඇති වෙබ් පිටුවේ සඳහන් වන ආකාරයට දැනටමත් ආයෝජකයින් 23,565 දෙනෙකු ඩොලර් මිලියන 2.1 ආයෝජනය කොට ඇති අතර තවත් දින 17ක් යනතුරු (එනම් මාර්තු 20 දින තෙක් ) ආයෝජකයින්ට මෙම සමාගමේ ප්‍රාග්ධනය සඳහා දායක විය හැකිය. එපමණක් නොව ඩොලර් 75කට වඩා සමාගමේ ආයෝජනය කරන සෑම අයෙකුටම 3ඩූඩ්ලර් පෑනක් නොමිලේ ලබාදීමටද සමාගමේ අයිතිකරුවන් හා 3ඩූඩ්ලර් නිමාපකයින් වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් ගිවිසුම් ප්‍රකාරව එකඟවී ඇත.
Read More