Tuesday, March 26, 2013

කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ශණය කෝ



1947සිට අදවන තෙක් පිටසක්වල යානා ගණනාවක් කඩාවැටුනු බවත්, එම යානාවලින් තාක්ශණය බටහිර රටවල්, විශේෂයෙන්ම අමෙරිකාවට ලැබුණු බවත් එමගින් අමෙරිකාවේ තාක්ශණික නිම්වළලු පුළුල් පුලුල්වුනු බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු අමෙරිකාව ලෝක් තාක්ශණ බලවතා වීමට මෙම තාක්ශණය ඉවහල් වුනු බවත් පැවසෙනවා.

එහෙත් මෙම කල්පිතයේ ගැටලු කිහිපයක් සංශයවාදීන් (skeptics) විසින් පෙන්වා දෙනවා...

මෙයින් බොහෝ දෙනෙකු පිලිගන්නා ගැටළුව නම්...වසර 60කට අධික කාලයක් මෙම යානාවලින් උකහාත් තාක්ශණයෙන් අමෙරිකානු තාක්ශණ පරිචය පුළුල් වූවානම් තවමත් එම තාක්ශණය මුඛයධාරාවේ (mainstream) තාක්ශණික සමාගම්වලට ලැබෙන ආකාරය හෙලිවී නැත්තේ ඇයි? යන ගැටළුවයි.

මෙම ලිපියේ අරමුණ පිටසක්වල යාන පෘථිවියට පැමිණීම හා කඩාවැටුනු එම යානා අමෙරිකාව සතුවීම, එම යානාවල තාක්ශණය ප්‍රති-ඉන්ජිනේරුකරණය (reverse engineered) කිරීම මගින් අමෙරිකානු තාක්ශණය දැවැන්ත ඉදිරි පියවර තැබීමට සමත්වීම පිලිබඳව පැතිරී තිබෙන තර්ක ප්‍රතික්ශේප කිරීමට සංශයවාදීන් විසින් ඉදිරිපත් කරන ඉහත ගැටලුවලට ලේඛකයා පරිශීලණය කරණලද පොත්පත් සඟරා හා අන්තර්ජාල ලිපි ඇසුරින් උකහාගත් තොරතුරු මත පිලිතුරු සැපැයිමයි. එහෙත් මෙම පිලිතුරු හුදෙක් කල්පිත පමණක් බව පාඨකයන් සිහිතබාගත යුතුයි.

එක්සත් ජනපද යුධ හමුදාවේ "Z හමුදාඅංශය" (Z Division of the US Army)

කාඩාවැටුනු පිටසක්වල යානා තාක්ශණය පිලිබඳ අමෙරිකානු පරිච්ඡේදය ආරම්භ වන්නේ එක්සත් ජනපද හමුදාවේ රහසිගත ඩිවිශණයක් වූ Z හමුදාංශයෙනි. Z ඩිවිශනය යනු අමෙරිකානු රජය මගින් දෙවන ලෝක යුධ සමයේ ආරම්භකොට තිබුණු පරමාණු බෝම්බයක් නිපදවීමේ මෑන්හැටන් ව්‍යාපෘතිය අධීක්ශණය හා සම්බන්ධීකරණය කල හමුදාංශයයි.

Z ඩිවිශණයේ ආරම්භක මූලස්ථානය වූයේ නිව් මෙක්සිකෝවේ රොස්වෙල් යුධහමුදා ගුවන් කඳවුරයි (Roswell Army Air Field). මේ රොස්වෙල් ප්‍රදේශය සුප්‍රකට රොස්වෙල් පිටසක්වල යානය කඩාවැටුනු රොස්වෙල් ප්‍රදේශයම වෙතත් Z ඩිවිශනය රොස්වෙල්හි ආරම්භවීමට හේතුවූවේ රොස්වෙල් පිටසක්වල යානය නොව අමෙරිකාවේ පරමාණු බෝම්බ ගෙනයා හැකිලෙස අනුවර්තය කොට තිබුණු බෝම්බ ප්‍රහාරක යානාවල මව් කඳවුර රොස්වෙල්හි යුධහමුදාගුවන් කඳවුර වීමයි. මේ කාලය වනවිට අමෙරිකානු ගුවන් හමුදාව ස්ථාපිත කොට නොතිබූ අතර "US Army Air Force" ලෙස හැඳිවූ එය අමෙරිකානු යුධහමුදාවේ අංශයක් ලෙස පැවතින.

පර්මාණු බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සමත් ගුවන්යානා හා පුහුණු තාක්ශණික ශිල්පීන් ස්ථානගත කොට තිබූ රොස්වෙල්හි පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කාර්යාංශය පිහිටුවා තිබුණු. අහම්බයක් ලෙස පිටසක්වල යානාවක් රොස්වෙල් වලට කඩාවැටීමත්, එය අතිශය රහසිගත ලෙස සැළකීමට අමෙරිකානු දේශපාලන හා හමුදා නායකත්ව තීරණය කිරීමෙන් අනතුරව එම යානාවේ සුන්බුන් ආරක්ශිතව තබාගැනීම, අතිශය රහසිගත ලෙස පරමාණු අවි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම සඳහා සියලු රහස් ක්‍රමෝපායන් අනුගමණය කරමින් පිහිටුවා තිබුණු Z ඩිවිශණයට පැවරුණු බව පැවසේ.

Bell Laboratories & Z Division

සුප්‍රකට බෙල් පර්යේශණාගාරය ගැන ඔබ සමහරවිට අසා ඇති. එසේ නැති ඔබට බෙල් පර්යේශණාගාරය යනු ට්‍රාන්සිස්ටරය, ලේසර් කිරණ, ඩිජිටල් කැමරාවල හදවත වන ආලෝක සෙන්සරයේ ප්‍රාරම්භක "Charged Coupled Device - CCD" තාක්ශණය, C හා C++ පරිගණක භාශා, UNIX මෙහෙයුම් පද්ධතිය වැනි අතිශය වැදගත් නිර්මාණ සිදුකල අමෙරිකානු තාක්ශණික විප්ලවයේ ප්‍රමුඛතම තිඹිරිගෙය බව දැනගැනීම වැදගත්ය.

දෙවන ලෝක යුද්ධය අවසානය දුටු 1947 වසරේදී, එවක අමෙරිකානු ජනාධිපතිවරයා වූ ඩ්වයිට් අයිසන්හවර්, පරමාණු බෝම්බය නිපදවීම හා ඒ සමගින් බිහිවුනු දැවැන්ත තාක්ශණික ජයග්‍රහණ වැඩිදියුණු කිරීමටත්, එම තාක්ශණයන් වාණිජමය වශයෙන් අමෙරිකානු ආර්ථිකයේ වර්ධනය සඳහා වැඩිදියුණු කිරීමටත් බෙල් ලැබ්ස් ආයතනයට පැවරීමට තීරණය කලේ එවකට අමෙරිකාවෙන් බිහිව තිබුණු ප්‍රමුකතම තාක්ශණික ආයතනය එයවීම නිසයි. ඒ අනුව පරමාණු බෝම්බය නිමැවිමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කල, එම තාක්ශණයේ සුරක්ශිතාගාරය ලෙසද කටයුතු කල යුධහමුදාවේ Z ඩිවිශණයේ බොහෝ කාර්යයන්ද බෙල් ලැබ්ස් සමාගමට පැවරුනා. මෙම පැවරීමත් සමග Z ඩිවිශණයේ තවත් නොනිළ කාර්යභාරයක් බවට අහඹුවෙන් පත්වී තිබුණු රොස්වෙල් පිටසක්වල යානයේ අධිතාක්ශණික සුන්බුන් හා එම සුන්බුන් විශ්ලේෂණය කිරීමෙන් ලියැවුනු විශේෂඥ වාර්තා බෙල් ලැස් පර්යේෂ්ණායතනයට ලැබෙන්නට ඇතැයිද අනුමාන කෙරෙනවා.

බෙල් ලැබ්ස් ආයතනයේ පර්යේෂකයින් විසින් එම වසරේදීම (එනම් 1947 අවසන්වීමට පෙර) ලොව ප්‍රථම ට්‍රාන්සිස්ටරය නිර්මාණය කිරීම තනිකරම අහඹුවක්ද එසේත් නැතිනම් ඔවුන්හට රොස්වෙල් යානයේ තිබූ පිටසක්වල ඉලෙක්ට්‍රොණික උපාංග නිරීක්ශණය කිරීමට හෝ එම උපාංග පරීක්ශාකර ලියැවුනු පර්යේශණ වාර්තා කියවීමට ලැබුණාද, එමගින් ඔවුනට ට්‍රාන්සිස්ටරයක් ප්‍රායෝගිකව නිමැවිය හැකි ආකාරය පිලිබඳව අදහසක් මතුවුනාදැයි තිරණය කිරීම ඔබට භාරකරමි...

1969 වසරේදී, එනම් Z ඩිවිශණය හා පිටසක්වල සුන්බුන් හා ඒවායේ විශ්ලේෂණ වාර්තා බෙල් ලැබ්ස් ආයතනය ලැබී වසර 22කට පසු ඔවුන් විසින් නූතන ඩිජිටල් කැමරා තාක්ශණය නිර්මාණය සඳහා මූලිකම තාක්ශණය වූ ආලෝක සංවේදී සංගෘහිත පරිපථයක් වන CCD වර්ගයේ පරිපථයක් නිමැවුනා. මෙයට වසර 22ක් වැනි විශාල කාළයක් ගියේ ඇයිදැයි ඔබට ගැටලුවක් පවතීනම් එයට පිලිතුර නම් 1947දී නිමැවුනු ට්‍රාන්සිස්ටරය, එවැනි ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකම සිලිකන් පතක පිහිටවුනු සංගෘහිත පරිපථයක් (integrated circuit) ලෙස වැඩිදියුණු වීමට 1958 තෙක් වසර 11ක් ගතවුනු බව කළ්පණාකල යුතුය. CCD ආලෝක සෙන්සරයක් යනු ආලෝක සංවේදක ක්ශුද්‍ර කැපෑසිටර් ඇති සංගෘහිත පරිපථයකි. පිටසක්වල තාක්ශණ සුන්බුන් තිබුණද එවක පැවතුනු පෘථිවි තාක්ශණයෙන් එවැන්නක් ප්‍රථිනිර්මාණය කිරීමට වසර ගණනාවක් ගතවිය හැකි බව පිලිගැනීම එතරම් අපසු නොවිය යුතුබව මාගේ හැඟීමයි.

එමෙන්ම 1957 වසර වනවිට බෙල් ලැබ්ස් ආයතනයේ පර්යේෂකයින් ලේසර් තාක්ශණය පිලිබඳව පර්යේෂණ ආරම්භ කොට තිබුණු බවද සටහන් කල යුතුය. ලේසර් කිරණ තාක්ශණය හා ඒ සබැඳුනු ලේසර් කිරණ මගින් අධිවේගී ලෙස දත්ත සම්ප්‍රේශණය ප්‍රකාශ තන්තු (fibre optics) වල කොටස් රොස්වෙල් වෙත කඩාවැටුනු පිටසක්වල යානයේ තිබුණු බවට වාර්තා ගණනාවක් ඇත.

"Day after Roswell"

මින් ප්‍රමුඛතම සටහන තැබෙන්නේ "Day after Roswell" නම් ග්‍රන්ථයක් සම්පාදනය කල අමෙරිකානු යුධහමුදා කර්නල් වරයෙකු වූ ෆිලිප් කෝර්සෝ විසිනි. අමෙරිකානු යුධහමුදාවේ බුද්ධි අංශයේ විදෙස් තාක්ශණ අංශයේ උසස් නිළයක් දැරූ බව පැවසෙන කෝර්සෝ රොස්වෙල් පිටසක්වල තාක්ශණ සුන්බුන් විවිධ අමෙරිකානු පර්යේශණාගාර වලට බෙදා හැරීමේ සැළසුම භාරව ක්‍රියාකල තැනැත්තා බව පැවසේ. රොස්වෙල් පිටසක්වල යානාවේ හා කඩාවැටුනු වෙනත් යානාවල තාක්ශණික කොටස් විදෙස් රටවලින් ඔත්තුසේවා හරහා ලබාගන්නා ලද තාක්ශණික උපාංග බව හඟවමින් අමෙරිකාවේ අධිතාක්ශණික සමාගම් හා විශ්වවිද්‍යාල පර්යේෂණාගාරවලට බෙදා හැරි ආකාරය කෝර්සෝ සිය කෘතියෙහි විස්තර කරයි.

CIA සංවිධානයේ පූර්වප්‍රාප්තික OSS ආයතනය, ඇමිණුම් කටු මෙහෙයුම

OSS හෙවත් Office of Strategic Services යනු සී.අයි.ඒ සංවිධානයේ පූර්වගාමී ආයතනයයි. දෙවන ලෝක යුධ සමයේදී නට්සි ජර්මනියේ ඔත්තු සේවා සඳහා පිහිටවුනු මෙම ආයතනය යුද්ධයෙන් අනතුරුව පරාජිත නට්සි ජර්මනියේ විද්‍යාඥයින් විසින් හිට්ලර්ගේ යුධ යන්ත්‍රය සඳහා නිමවා තිබුණු අපූර්ව යුධ තාක්ශණයන් හා එම තාක්ශණයන් නිමැවූ විද්‍යාඥයින් මෙන්ම ඔවුන්ගේ පර්යේෂණාගාර පවා අමෙරිකාව වෙත පටවා යැවීමට දැවැන්ත කාර්යභාරයක් ඉටුකලේය.

නීල් ආම්ස්ට්‍රෝං සඳ වෙත ගෙනගිය සැටර්න් 5 අත්දැවැන්ත රොකට්ටුව නිර්මාණය කල, ඊට වසර 25කට පෙර හිට්ලර් උමතු යුධ සැළසුම් සඳහා ලන්ඩනය සුන්බුන් කල ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය වන V2 රොකට්ටුව නිර්මාණය කල වර්නර් වොන් බ්‍රෝන් හා ඔහුගේ සහයක විද්‍යාඥයින් හා රොකට් විශේෂඥයින් නට්සීන් ගේ යුධ අපරාද සඳහා දඬුවම් කිරීමට පිහිටුවා තිබූ නියුරම්බර්ග් යුද්ධාදිකරණයෙන් හසුනොවන ලෙස සඟවාගෙන අමෙරිකාවට ගෙන ආවේද ඕ.එස්.එස් ආයතනයයි.

Operation Paperclip හෙවත් ඇමිණුම් කටු මෙහෙයුම ලෙස හැඳින්වුනු මෙම මෙහෙයුම හරහා දරුණු ගණයේ යුධ අපරාධවලට සම්බන්ධවුනු නට්සි විද්‍යාඥයින් පවා ඔවුන්ගේ යුධ අපරාද පිලිබඳව තොරතුරු සඟවා රහසින් අමෙරිකාව ගෙන ආ ලද්දේ ඔවුන්ගේ පර්යේශණ හා නව නිර්මාණ හැකියාවන් අමෙරිකාවට ලබාගැනීම සඳහායි.

OSS සංවිධානය හා එහි අනුප්‍රාප්තික CIA සංවිධානය රොස්වෙල් හා අනෙකුත් පිටසක්වල යානා කඩාවැටීම් හා ඒවායේ තාක්ශණය උකහාගැනීම් මෙන්ම පිටසක්වල යානා පිලිබඳව අතිශය රහසිගත තොරතුරු අමෙරිකාවේ පොදුජනතාවට හෝ සතුරු රාජ්‍යවල ඔත්තුකරුවන් හට දැනගැනීමට නොහැකිවන ලෙස ආරක්ශාකිරීම භාරව ක්‍රියාකල බව පැවසෙනවා.

එමෙන්ම පිටසක්වල තාක්ශණය උකහාගැනීම සඳහා මෙන්ම පිටසක්වලයින් පෘථිවිය මත සිදුකරන ක්‍රියාකාරකම් නිරීක්ශණය, වාර්තාකිරීම, පර්යේෂණ කිරීම මෙන්ම ඒවා පාලනයකල හැකි ආකාරයන් සොයාගැනීම සඳහා රොස්වෙල් කඩාවැටීමෙන් වසරකට පමණ පසු අමෙරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් ස්ථාපිත කරනලද මැජෙස්ටික් 12 කමිටුවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සී.අයි,.ඒ සංවිධානයේ අධ්‍යක්ශකවරයා පත්කොට සිටියා.

ඇමිණුම් කටු ව්‍යාපෘතියෙන් අමෙරිකාවට ආ නට්සි විද්‍යාඥයින් ලවා පිටසක්වල යානා සුන්බුන් පර්යේෂණවලට බඳුන්කොට එම තාක්ශනවල ක්‍රියාකාරිත්වය පිලිබඳ කල්පිත නිබන්ධන (Scientific Concept Papers) ලියවාගත්තාද?

මෙලෙස අමෙරිකාවට රහසිගත ලෙස ගෙන ආ නට්සි ජර්මන් විද්‍යාඥයින් හා විශේෂඥයින් රොස්වෙල් යානාවේ සුන්බුන් විවිධන් පර්යේෂණවලට බඳුන්කිරීමට හා එම පර්යේෂණ ප්‍රථිපල ආශ්‍රයෙන් එම තාක්ශණයන් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව කල්පිතයන් විස්තර කෙරෙන පර්යේෂණ නිබන්ධන පිලියෙල කිරීමේ කාර්යයන්ද පැවරුන බවට අනුමාන කෙරෙනවා. රහසින් අමෙරිකාවට ගෙන ආ නිසාත් යුධ අපරාධවට සම්බන්ධ බැවිනුත් මෙම ජර්මන් විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙකු ඉතා නිහඬව මෙන්ම නිර්ණාමිකව මෙම කටයුතු වල යෙදුනු බවත් එම පත්‍රිකාවලින් ඔවුන්ගේ අනන්‍යතාවයක් හෙලිනොවන ආකාරයට ඒවා ලියැවී තිබුණු බවත් වාර්තා වනවා. මේ අනුව අමෙරිකානු යුධ ප්‍රධානීන්ට මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන් හටද පිටසක්වල තාක්ශණය අතිදක්ශ, එහෙත් ප්‍රසිද්ධියක් අපේක්ශා නොකරමින් රාජකාරිය සිදුකරන විද්‍යාඥයින් පිරිසක් ලවා විශ්ලේශණය කරගැනීමට හැකිවුනු බව පැවසෙනවා.

මෙවැනි නිර්නාමික තාක්ශණික කල්පිත පත්‍රිකා වෙනත් පර්යේශණාගාරවල සේවය කරමින් සිටි තෝරාගත් විද්‍යාඥයින් හට අතිශය රහසිගත ගිවිසුම් වලට යටත්ව ලබාදුන් බවට අනුමාන කෙරෙනවා. එම කල්පිට පත්‍රිකා ආධාරයෙන් නිර්මාණය වන නව තාක්ශණයන්ගේ අයිතිය මෙන්ම ඒවායෙන් ලැබෙන ආදායම් හා ප්‍රසිද්ධය හා ගෞරවයද එම විද්‍යාඥයින් හට හිමිකර ගැනීමට අවස්තාව ලබාදී ඇති බවද පැවසෙනවා.

සංගෘහිත පරිපථයේ නිර්මාතෲ OSS සාමාජිකයෙකු ලෙස යුධ සමයේ ක්‍රියාකිරීම අහම්බයක්ද?

සංගෘහිත පරිපථ පිලිබඳ තාක්ශණය රොස්වෙල් යානාවේ තිබී ප්‍රති-ඉන්ජිනේරුකරණය කරගත් තාක්ශණයක් බව පැවසෙනවා. එපමණක් නොව තවත් අපූරු අහම්බයක් (නැතහොත් නිශ්චිත සැළසුමකට අනුව සිදුවූවක්) නම් සංගෘහිත පරිපථයේ නිර්මාතෲවරයා ලෙස පිලිගැනීමට ලක්ව සිටින ජැක් කිල්බි දෙවන ලෝක යුධ සමයේදී OSS ආයතනයේ තාක්ශණික නිළධාරියෙකුව සිටි බවයි. OSS ආයතනය හෝ එහි අනුප්‍රාප්තික CIA සංවිධානය අතිශය රහසිගත පිටසක්වල සුන්බුන් පරික්ශාකිරීමට යම් අයෙකුට දෙන්නේනම් එම පුද්ගලයා ඉතා විශ්වාස කටයුතු පුද්ගලයෙකු වියයුතු බවට විවාදයක් නැත. ඒ අනුව කලක් OSS හි සේවය කල දක්ශ තාක්ශණික ශිල්පියෙකු හා පසුව ඉන්ජිනේරුවෙකු ලෙස උපාධිය දිනාගෙන අධිතාක්ශණික ඉලෙක්ට්‍රොණික උපකරණ නිර්මාණ සමාගමක එවකට සේවයේ නියුතුව සිටි ජැක් කිල්බි වැනි විශ්වාසවන්තයෙකුට එම අවස්ථාව ලැබාදීම එතරම් පුදුමයක් විය නොහැකියි නේද?

ඉලෙක්ට්‍රොනික උපාංග හැකිතාක් කුඩා කිරීමේ පර්යේෂණවල එවකට නියුතුව දක්ශ විද්‍යාඥයින් සියගණනක් අතුරින් කිල්බිට පමණක් සිලිකන් පෙත්තක් මත ට්‍රාන්සිස්ටර් වැනි උපාංග ස්ථාපණය කිරීමෙන් ඉතා කුඩා සංගෘහිත පරිපථයක් නිපදවිය හැකිය යන විප්ලවීය අදහස එක්වරම පහලවූයේ කෙසේදැයි ජැක් කිල්බිගේ චරිතාපදාන වලට අනුව විස්තර කෙරෙන්නේ නෑ. විකිපීඩියා හා වෙනත් කිල්බි පිලිබඳව ලියැවුනු චරිතාපදානවල, එවක (1957-58) ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට්ස් නැමති ඉලෙක්ට්‍රොණික සමාගමේ පර්යේශණ වල නියැලී සිටි කිල්බි හට මෙම අදහස පහලවී ඒ ඔහුගේ කළමණාකාරිත්වයට ඉදිරිපත් කොට පර්යේෂණ සඳහා අවසර ඉල්ලූ බව පැවසෙනවා....


පිටසක්වල තාක්ශණය අමෙරිකානු විද්‍යාඥයින් හට හා අධිතාක්ශණික සමාගම් වලට ලැබෙන ආකාරය දැන් පැහැදිලිද?

බොහෝ අවස්ථාවලදී මේ විද්‍යාඥයින් කිසිවෙකුටත් පිටසක්වල යානාවල කොටස් අධ්‍යයනය කිරීමට හෝ පර්යේෂණයට බඳුන්කොට තාක්ශණය උකහාගැනීමට ලැබෙන්නේ නෑ. එම පර්යේෂණ අතිශය රහසිගත ලෙස වෙනත් විද්‍යාඥයින් හා විශේෂඥයින් මගින් සිදුකරන අතර එම පරියේෂණ අදාලව ලියවුනු තාක්ශණික පත්‍රිකා හා කල්පිත පත්‍රිකා පමණක නිර්ණාමීකරණයට (anonymized) බඳුන්කොට වෙනත් විද්‍යාඥයින්ට ලබාදෙනවා.

මෙම කල්පිත පත්‍රිකා පරිශීලණය කරන තුන්වන පාර්ශවයේ විද්‍යාඥයින් හට ඔවුන් මේ කියවන්නේ පිටසක්වල තාක්ශණයක් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව ලියැවුනු කල්පිතයක් බවට වැටහීමක් ඇතිවන්නේ නෑ. බොහෝවිට මෙවැනි පත්‍රිකා අමෙරිකාවේ ක්‍රියාත්මක වන සියගණනාවක් අතිශය රහසිගත යුධමය කටයුතු පිලිබඳව පර්යේෂණ කෙරෙන පර්යේෂණාගාරයක විද්‍යාඥයෙකු විසින් රචිත, රාජ්‍ය රහස් ආරක්ශාකිරීමෙන් පනත් මගින් ආරක්ශා කොට ඇති තාක්ශණයක් පිලිබඳව පත්‍රිකාවක් බව එම විද්‍යාඥයින් හට හඟවනවා.

පිටසක්වල තාක්ශණය ඇසුරින් නිමැවුනු විද්‍යාත්මක සංකල්ප හා තාක්ශණ සංකල්ප අමෙරිකානු විද්‍යාගාර හා අධිතාක්ශණික සමාගම වෙත ලැබෙන්නේ මෙවැනි නිර්නාමකරණ ක්‍රියාවලියකින් පසු, එම තාක්ශණයේ ජන්මය පිලිබඳව සියලු තොරතුරු වසන් කිරීමෙන් පසුවයි.
Read More

Monday, March 25, 2013

ඩිජිටල් කැමරා වලට UltraPixel තාක්ෂණය


ඩිජිටල් කැමරා මෙගා-පික්සල් යුද්ධය අලුත් අතකට - හඳුනාගන්න UltraPixel තාක්ෂණය




නිකොන්, කැනන්, සෝනි, සැම්සුන්ග් කැමරා නිශ්පාදකයින් සිය කැමරාවල ගුණාත්මක භාවය පිලිබඳව ලොවට කියාපාන්නට භාවිතාකරන ලද්දේ කැමරාවේ ආලෝක සංවේදකයේ මෙගාපික්සල් ප්‍රමාණයයි. මෙගාපික්සල් ප්‍රමාණය වැඩිවන විට කැමරාවේ ගුණාත්මක භාවය වැඩිවන බවට වැරදිමතයක් හිතාමතාම ජනිතකල කැමරා නිශ්පාදකයින් සෑම සයමසකටම වරක් එකිනෙකාට වඩා ඉහල මෙගාපික්සල් ප්‍රමාණයක් ඇති පොකට් කැමරා එලිදක්වන්නට වූ අතර ඡායාරූපකරණ තාක්ශණ විචාරකයින් මෙය කැමරා නිශ්පාදකයින්ගේ මහා මෙගාපික්සක්සල් යුද්ධය (The Great Megapixel War) ලෙස හඳුන්වන ලදී. වැඩිකල් නොගොස් ජංගම දුරකථන නිශ්පාදකයින්ද මෙම මෙගා පික්සල් යුද්ධයට අවතීර්ණවූ අතර මොවුන් අතරින් ඇපල් හා සැම්සුන්ග් අතර යුද්ධය දැන් දැන් අලෙවිකරණ යුද්ධයකට වඩා ඈතකට ගොස් ඇතිබව පෙනේ.

සැම්සුන්ග්-ඇපල් ස්මාර්ට්ෆෝන් සටන හා නිකොන්-කැනන්-සෝනි කැමරා සටන අතරට කලකට පෙර අතිශය ජනප්‍රිය Wildfire වැනි ජංගම දුරකථන නිපදවා ජනාදරයට පත්ව මෑතකදී සැම්සුන්ග් ගැලැක්සි මාදිලියේ දුරකථන කාණ්ඩය නිසා නොනගතයට තල්ලුවී සිටි HTC සමාගම, අල්ට්‍රා-පික්සල් නම් අලුත් තාක්ශණයකින් සන්නද්ධව සටනට බැස සිටී.

HTC One with UltraPixel digital camera


හෙට-අනිද්දාම එලිදක්වන්නට නියමිත HTC One ස්මාර්ට්ෆෝනයට ඇතුලත්ව අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිමැවුනු පලමු ඩිජිටල් කැමරාව එලිදැක්වෙනවා. මෙය සැම්සුන්ග් ගැලැක්සි S4 ෆෝනයට ඉතා හොඳ තරඟයක් දෙනු ඇතැයි විචාරකයින් පවසනවා.

අල්ට්‍රා-පික්සල් තාක්ශණය යනු කැමරාවක ආලෝක සෙන්සරය මත අලෝක සංවේදී පික්සල් ඇතිරීමේ අලුත් ක්‍රමවේදයකි. සාමාන්‍ය මෙගාපික්සල් තාක්ශණයේ කැමරාවල ආලෝක සෙන්සරය මත වැඩිපුර මෙගා-පික්සල් ප්‍රමාණයක් අතුරවන්නේ එම පික්සල් වල ප්‍රමාණය කුඩා කීරීමෙනි. එවිට සෙන්සරයේ ප්‍රමාණය විශාල නොකොට වැඩි පික්සල් ප්‍රමාණයක් සෙන්සරයේ පෘශ්ඨය මත ඇතිරීමට හැකිවනවා.

අල්ට්‍රාපික්සල් තාක්ශණයේ සෙන්සර් ප්‍රමාණයෙන් විශාල වන අතර එය මත අතුරා ඇති පික්සල වල විශාලත්වයද වැඩි බැවින් වැඩි ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කොටගෙන වඩා පැහැදිලි ඡායාරූප ලබාදිය හැකිවනවා.
අල්ට්‍රා-පික්සල් තාක්ශණය ක්‍රියාත්මක වන්නේ මීට සපුරා විරුද්ධ ආකාරයටයි. මෙහිදී සෙන්සරයේ ප්‍රමාණය විශාල වන අතර ඒ මත ප්‍රමාණයෙන් විශාල පික්සල් අඩු ප්‍රමාණයක් ඇතුරනවා. උදාහරණයක් ලෙස HTC One ස්මාර්ට්ෆෝනයේ කැමරාවේ විබේධනය මෙගාපික්සල් වලින් ප්‍රකාශකල හොත් එය මෙගාපික්සල් 4ක පමණ කැමරාවක්. එහෙත් මෙම කැමරාවේ පික්සල් අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිර්මාණය කල ප්‍රමාණයෙන් විශාල පික්සල් වන බැවින් එම පික්සලයකට වැඩි ආලෝක ප්‍රමාණයක් (එනම් ෆෝටෝන ප්‍රමාණයක්) ග්‍රහණය කරගැනීමේ හැකියාව තිබෙන නිසා, කැමරාවෙන් ලැබෙන සාඵල්‍ය විබේධනය (true resolution) මෙගාපික්සල් අටක කැමරාවකට සමාන වන බව පැවසෙනවා.

සාමාන්‍ය සෙන්සරයක පික්සලයක ප්‍රමාණය මයික්‍රෝමීටර් 1.4ක් වන අතර අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිමැවුනු පික්සලයක ප්‍රමාණය මයික්‍රෝමීටර් 2ක් වනවා. ඒ අනුව අල්ට්‍රා-පික්ස්ලයක ආලෝකය ග්‍රහණය කරගත හැකි ප්‍රදේශය සාමාන්‍ය පික්සලයක මෙන් දෙගුණයක ප්‍රමාණයක් වනවා.
UltraPixel තාක්ශණය මෙගාපික්සල් තරඟය මෙන්ම පාරිභෝගිකයින් රවටන තවත් අලෙවිකරණ මායාවක්?


න්‍යායාත්මකව, අල්ට්‍රාපික්සල් තාක්ශණයේ වාස ඉහත ආකාරයට විස්තර කල හැකිවුනත්, සමහර තාක්ශණ විචාරකයින්ට අනුව මෙයත් පාරිභෝගිකයින්ව රවටන්නට නිර්මාණය කෙරුනු අලෙවිකරණ විජ්ජාවක්. අලුත් නමක් පටබැන්දත් මෙය නව තාක්ශණයක් නොව, තාක්ශණය ආපස්සට ගෙන ගොස් පරණ තාක්ශණයක් අලුත් ලේබලයක් යටතේ ඉදිරිපත් කිරීමක් බවත් ඔවුන් පවසනව. මෙම චෝදනාවේ යම් සත්‍යතාවයක් තිබෙන බව පමණක් දැනට පැවසිය හැකි අතර, අල්ට්‍රාපික්සල් තාක්ශණයේ සැබෑ හැකියාවන් HTC One ෆෝනයේ අල්ට්‍රාපික්ස්ල් කැමරාවෙන් ගන්නා ඡායාරූප අන්තර්ජාලයට එකතුවූ පසු දැන ගත හැකියි.
Read More

අවකාශයේ ත්‍රිමාණ නිර්මාණ සිදුකල හැකි 3Doodler


අවකාශයේ ත්‍රිමාණ නිර්මාණ සිදුකල හැකි 3Doodler


3ඩූඩ්ලර් යනු ත්‍රිමාණ මුද්‍රණයේ, එනම් ත්‍රිමාණ වස්තූන් අවකාශයේ නිර්මාණය කල හැකි මුද්‍රණ යන්ත්‍රවල විප්ලවීය වෙනසක් සිදුකල හැකි නිර්මාණයකි. පෑනක් මෙන් පෙනෙන හා ක්‍රියාකල හැකි ආකාරයට නිර්මාණය කොට ඇති මෙම ත්‍රිමාණ නිර්මාණ පෑන අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් දෙදෙනාගේ නිර්මාණයකි.

නිර්මාණ ශිල්පීන් හට කොළයක් ගෙන පැන්සලක නිර්මාණයක් කරනවාක් මෙන් පහසුවෙන් ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා නිපදවා ඇති 3ඩූඩ්ලර් ත්‍රිමාණ මුද්‍රණ පෑනෙන් අවකාශයේ නිර්මාණ සිදුකල හැකිව තිබෙන්නේ ඉතා විශේෂිත ප්ලාස්ටික් වර්ගයක් එම පෑනේ තුඩින් ඉතා ක්‍රමාණුකූලව වැගිරෙන්නට සැලැස්වීමෙනි. පෑන් තුඩෙන් පිටවන විට ද්‍රව තත්වයේ පසුවන මෙම ප්ලාස්ටික් වර්ගය තුඩින් පිටවුනු වහාම ක්ශණිකව ඝනීභවනය වේ. ඒ අනුව අවකාශයේ නිර්මාණය සෑදෙයි.

මෙම ත්‍රිමාණ පෑනට දමන ප්ලාස්ටික් වර්ගය හැඳින්වෙන්නේ "ඇක්‍රිලෝනයිට්‍රයිල් බියුටඩීන් ස්ටයිරීන්" හෙවත් "ABS" ලෙසිනි. විශ්කම්භය මිලිමීටර් 3ක් වන ප්ලාස්ටික් කම්බි ලෙස එන මෙම ප්ලාස්ටික් වර්ගය විවිධ වර්ණ වලින් සැපයිමට 3ඩූඩ්ලර් නිර්මාණ සමාගම සැළසුම් කරයි.

3ඩූඩ්ලර් ත්‍රිමාණ පෑනට යොදන ABS ප්ලාස්ටික් කම්බි
තවමත් සංවර්ධනය කෙරෙමින් පවතින 3ඩූඩ්ලර් පෑනේ වැඩිදියුණු කිරීම් වල පර්යේශණ හා නිශ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගන්නා ආකාරයද 3ඩූඩ්ලර් පෑන මෙන්ම අපූර්ව ක්‍රමයකි. Crowd Funding ලෙස හැඳින්වෙන මෙම ප්‍රාග්ධන සෙවුම් ක්‍රමයේදී ප්‍රාග්ධනය අවශ්‍ය සමාගම ඒවා ලබාගන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ ආයෝජනයන් සිදුකරන සාමාන්‍ය මහජනතාවගෙනි.

දැනට අමෙරිකාවේ ප්‍රචලිත වෙමින් යන මෙම ප්‍රාග්ධන උපැයුම් ක්‍රමයේදී ඩොලර් 1ක් වැනි සුලු මුදලක් පවා ආයෝජනය කිරීමට ආයෝජකයින්ට පුලුවන. එක් අයෙකුගෙන් ලැබෙන මුදල සුලුවුවත් ආයෝජකයින් අතිවිශාල සංඛයාවකගෙන් මුදල් එකතු කරගන්නා නිසා සමාගමට සෑහෙන ප්‍රාග්ධනයක් එක් රැස් කරගැනීමට හැකියාව ලැබේ.

3ඩූඩ්ලර් පෑන වැඩිදියුණු කිරීම සඳහා නිර්මාපකයින් වොබල්වර්ක්ස් (WobbleWorks) නම් සමාගමක් ලියාපදිංචි කොට ඇති අතර මෙම සමාගම කික්ස්ටාටර් (Kickstarter) නම් සමාගමක් හරහා සිය ප්‍රාග්ධන ඉල්ලුම සිදුකොට ඇත. කික්ස්ටාටර් සමාගම 3ඩූඩ්ලර් වෙනුවෙන් වෙන් කොට ඇති වෙබ් පිටුවේ සඳහන් වන ආකාරයට දැනටමත් ආයෝජකයින් 23,565 දෙනෙකු ඩොලර් මිලියන 2.1 ආයෝජනය කොට ඇති අතර තවත් දින 17ක් යනතුරු (එනම් මාර්තු 20 දින තෙක් ) ආයෝජකයින්ට මෙම සමාගමේ ප්‍රාග්ධනය සඳහා දායක විය හැකිය. එපමණක් නොව ඩොලර් 75කට වඩා සමාගමේ ආයෝජනය කරන සෑම අයෙකුටම 3ඩූඩ්ලර් පෑනක් නොමිලේ ලබාදීමටද සමාගමේ අයිතිකරුවන් හා 3ඩූඩ්ලර් නිමාපකයින් වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් ගිවිසුම් ප්‍රකාරව එකඟවී ඇත.
Read More